මේ දිනවල සාම්ප්‍රදායික නළු වීර චරිත වලට වඩා යථාර්ථය දනවන රංගනයක යෙදෙන අපූරු රංගන ශිල්පියෙක් ගැන Movies.lk මේ සතියේ සටහන තියන්නට හිතුවා. පුංචි කාලේ ඉඳලම කලාවේ රස නාලිකා ස්වයං සන්තර්පණයෙන් ප්‍රගුණ කළ ඔහු ශ්‍යාම් ප්‍රනාන්දු .ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙක් ලෙස දරුවන්ට නැණ පහන දෙන්නට ආ පසුව ශ්‍යාම් සිය රසිකත්වය තුළින් දරුවන්ට නාට්‍ය ගැන උගන්වනවා . ඒ තුළින් නාට්‍යකාමීත්වය පෙන්වන ශ්‍යාම් රාජිත නම් අපූරු වේදිකා නාට්‍ය කරුවා එක්ක තම ශක්තීන් උරගා බලන්න පටන් ගන්නවා .

සිහින හොරු අරන්, වීරය‍ා මැරිල, ආදර වස්තුව ඒ නාට්‍ය කිහිපයක් . ශ්‍යාම් කියන්නෙ සෝමලතා සුබසිංහ මහත්මිය ගෙ රංගනාලෝක සෙවණේ උරුමය ලද්දෙක්. බොර දිය පොකුණ චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වන ශ්‍යාම් ලේ කිරි කඳුළු , දිය යට ගින්දර , ආදී චිත්‍රපට වල සහය චරිත වලට පණ දුන්නා. හා හා පුරා කියල ප්‍රධාන චරිතයක් වෙනුවෙන් ශ්‍යාම් පෙනී සිටින්නෙ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ. එහි රංගනය වෙනුවෙන් ශ්‍යාම් 2015 වසරේ හොඳම නළුවාට හිමි සිග්නීස් සම්මානයෙන් පිදුම් ලබනවා. ඔහුගේ ප්‍රතිභා පූර්ණ රංගනයට එය කදිම නිදසුනක්. මේ දිනවල දිවයින පුරා තිරගත වන ප්‍රේමය නම් චිත්‍රපටයේ විශ්ව තුළින් ඔබට ශ්‍යාම් රංගන ශිල්පීයා ව මුණ ගැහෙන්න ඔබට පුළුවන් .

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments