යුද්ධයක අඳුරු පැතිකඩක සිට ඉගිලෙන මාළු පියඹා ආවද  වාරණය තුළ අත්තටු සිදී ගිය සිනමා සිත්තමක් බවට පමණක් එය පත්වෙද්දී ඇය ඉගිලෙන්නට දුන් පියාපත් වල සවිමත් බවට ප්‍රබල උපැහරණයක් වූවාය. ස්ත්‍රීත්වය වෙළඳ භාණ්ඩයක් වන වර්තමාන කලාව තුළ ඇය නග්නත්වය තුළද කලාවට කළ හැකි යමක් ඇති බව සිය රංගනයෙන් ඔප්පු කර සිටියාය. මනසින් ඇඳුම් උනා පුහු  සුරතාන්තයක ගිලී ගැහැණියටම ඇඟිල්ල දිගු කරන ප්‍රේක්ෂකාගාරයට ඇය ඇඟිලි පහම දිගු කරන්නට තරම් ආත්මීය ජවයක් ඇතිව රංගනයක යෙදුණාය. සුකොමළ ගැහැණු ගතියට ඇය අවියක්ව පිපිරුණාය. වැදෙන වැදෙන මඩ එකතු කර නෙළුම් මලක්ව පිබිදෙන්නට ඇය තවමත් සටනේය. විටෙක ඇය රූ රැජිණකි . ඒ 2006  වසරේ ශ්‍රී ලාංකීය සුන්දරම යුවතිය ලෙස කිරුළ දරමින්ය.

තව විටෙක ඇය කටකාර නිවේදනයක හැඩ මවන්නීය. තව විටෙක ඇය රූපවාහිනීය මත රංගනයක යෙදෙන්නෙ වෙළඳ දැන්වීමක, ටෙලියක, රියලැටි වැඩසටහනක වන්නට පුළුවන. ඒ අවස්ථාව අනුව ඇය චරිතාරූඪ වන්නෙ උපරිම සාධාරණය ආලින්දයේ රස වින්දනයට ලබා දෙමින්ය. එසේම ඇය තවත් විටෙක ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය. විල්පත්තුවේ ශෝකයට,  සේයා දියණියවන් සිය දහස් දියණියන්ගේ ආරක්ෂාවට, ෆුල් ෆේස් හෙල්මටයේ තහනමට විරුද්ධව තාරුණ්‍යයට ජවයක්ව මෙන්ම පසුගියදා ඇතිවු ගංවතුරට සහන සොයා ඇය නොබියව ඉදිරිපත් වූවාය. දේශපාලනය පසුබිම වුවද ඇය දේශපාලනයේ අත් පොතට නිවැරදි හුරුව ඒ තුළින් සකසා ගනිමින් සිටින්නීය. කෙසේ වුවද ඇය ඉගිළෙන මාළු චිත්‍රපටය තුළින් සිනමාවට අවතීර්ණ ව සිනමාවේ දිගු ගමනක පාර සොයන ගමනේ ඉදිරියේ දී පැරෂුට් , බුද්ධභූමී වන්දනා , බඹර වසන්තය, CID File 99 යන චිත්‍රපට හරහා ඔබට මට යළි හමුවනු ඇත. රංගනයේ සුවිශේෂි වින්‍යාසයන් රසවින්දනයට රීදි තිරයේ ඉඩතියා මඩ‍ට සියපතක්ව පිපෙනු වස් දිගු ගමනක සුභ සළකුණු ආදරණීය ගයේෂා ඔබට..

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

Comments